Marching to Zion - trailer in Sinhala

Video

April 18, 2015

මීට වසර 4000කට පෙර, දෙවියන් වහන්සේ මෙසපොතේමියාවේ ආබ්‍රහම් වෙත පැමිණ කියා සිටියේ, “ඔබේ රටින් සහ ඥාතිවර්ගයාගෙන් ඉවත්ව, ඔබේ පියාගේ නිවසින් ද ඉවත්ව, මා පෙන්වා දෙන දේශයක් වෙත යන්න. මම ඔබට විශිෂ්ට දේශයක් තනා දෙන්නෙමි.“ ආබ්‍රහම් සමිඳුන්ට කීකරු වී, කැනාන් පොරොන්දු දේශය තුළට පැමිණ, ඔහුගේ පුතණුවන් වන අයිසැක් සහ පසු කලෙක ‘ඊශ්‍රායල්‘ යනුවෙන් නම ලද මුනුබුරා ජේකබ් සමඟ ජීවත් වූයේය.

කැනාන් දේශයේ දුර්භික්ෂයක් හේතුවෙන්, ජේකබ් සහ ඔහුගේ පුතුන් දොළොස්දෙනා ඊජිප්තුව වෙත ගමන් කර, එහිදී ප්‍රබල දේශයක් කරා ප්‍රගුණනය විය. ඔවුන් අතර ජීවත් වූ ප්‍රබල ඊශ්‍රායල දේශය, ඊජිප්තු ජාතීන්ට තර්ජනයක් වූ බවට ඔවුනට හැඟී ගියේය. ඒ හේතුවෙන් ඔවුන් වහල් බවට පමුණුවා, එම වහල්කම නිසාම, ඔවුන්ගේ ජීවිත දැඩි බන්ධනයකින් කටුක බවට පත් කළේය. ඊජිප්තුවේ වසර 430ක කාලයකට පසුව, මොවුන් වහල්භාවයෙන් මුදා ගන්නා ලද්දේ මෝසස් විසින් වූ අතර, ඔවුන් රතු මුහුද හරහා අරාබියට ඇතුල් වී, සිනායි පව්වේදී දෙවියන් වහන්සේගේ නීතිය ලබා ගත්හ.

මෝසස් සමඟ ඊජිප්තුවෙන් පිට වූ ඊශ්‍රායල පරම්පරාවට පොරොන්දු දේශයට ඇතුළු වීමට අවසර නොලැබුණේ, සමිඳුන් කෙරෙහි ඇති ශ්‍රද්ධාවෙහි අඩුපාඩු නිසාය. ඔවුන් වසර 40ක කාලයක් තිස්සේ වනාන්තර තුළ සැරිසරමින් සිට, සමිඳුන් කෙරෙහි භක්තිය ඇති නව පරම්පරාවක් නිර්මාණය වීමෙන් පසුව, ජොෂුවා සමඟ පොරොන්දු දේශයට ඇතුල් විය.

වසර 400ක කාලයකට, මෝසස්ගේ නීතියට අනුව, විනිශ්චයකරුවන් විසින් ඊශ්‍රායල ගෝත්‍ර 12 පාලනය කරනු ලැබීය. වෙනත් දේශ මෙන් ඔවුනටද රජ කෙනෙක් අවශ්‍ය වූ විට, දෙවියන් වහන්සේ විසින් සාවුල්, රජු වශයෙන් පත් කරන ලද අතර, වසර 40ක් පුරාවටම ඔහු රජ කළේය. ඔහුට පසු පැමිණි දාවිත් රජු වසර 40ක් ද, ඉන් පසු රජකමට පත් වූ දාවිත්ගේ පුත් සොලමන් ද වසර 40ක් රජ කළේය. සොලොමන්ගේ පාලන කාලය තුළ ඊශ්‍රායල රාජධානිය ඉතාමත් ඉසුරුමත් වූ අතර, පළමු දේවස්ථානය ඉදි කරන ලද්දේ එම සමයේදීය. නමුත් මහළු වියේදී සොලමන්ගේ හදවත සමිඳුන් වෙතින් ඉවත් ව ගිය බැවින්, දෙවියන් වහන්සේ ඔහුට කියා සිටියේ ගෝත්‍ර වලින් 10ක් ඔහුගේ පුතු විසින් පාලනය නොකෙරෙනු ඇති බවයි.

සොලමන්ගේ අභාවයෙන් පසු, ඊශ්‍රායල රාජධානිය දෙකඩ වූ අතර, දාවිත් සහ සොලමන් ගෙන් පැවත නොපැමිණි, දුෂ්ට රජවරුන් පෙළක් විසින් උතුරේ ගෝත්‍ර 10 පාලනය කරන ලදි. මෙම උතුරු රාජධානිය ඊශ්‍රායලය යන නම පවත්වා ගෙන ගිය අතර අවසානයේදී එහි අගනුවර වූයේ සමානියා ය. වඩා කුඩා, දකුණේ රාජධානිය ජුදා යනුවෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර, ජෙරුසලම එහි අග නගරය විය. දාවිත්ගෙන් පැවතෙන්නන් විසින් එහි රජකම් කෙරිණ. දෙවැනි රජවරුන්ගේ දහසයවැන්නෙන් ආරම්භ කරමින්, දකුණු රාජධානියේ ජනතාව, ‘යුදෙව්වන්‘ නමින් හඳුන්වන ලද්දේ, ජුදා රාජධානියේ නමට අනුවයි.

ඊශ්‍රායල උතුරු රාජධානියේ දුෂ්ටත්වය නිසා, එය පෙරළා දමා, අස්සිරියානුවන් විසින් එම දේශය අල්ලා ගන්නා ලදි. ඉතිරි වූ ඊශ්‍රායල ජාතිකයින්, රාජධානියට ඇතුල් වී එහි පදිංචි වූ මිථ්‍යාදෘෂ්ටික ජාතීන් සමඟ කලවම් වූහ. මේ පුද්ගලයින් සමාරිය පළාතේ වැසියන් ලෙස පසු කලෙක හැඳින්වුණු අතර, උතුරු ඊශ්‍රායලයේ ගෝත්‍ර 10 නැවත වරක් කිසි දිනක දේශයක් බවට පත් නොවිණ.

අවසානයේදී, ජුදා වූ දකුණු රාජධානියා අල්ලා ගෙන බැබිලෝනය තුළට ඇතුල් කර ගන්නා ලද්දේ, වෙනත් දෙවිවරුන්ට සේවය කිරීම හේතු කොට ගෙන දඬුවමක් වශයෙනි. නමුත් වසර 70කට පසුව, යුදෙව්වන් ජුදාවට ආපසු පැමිණි අතර, ජෙරුසලමේ දේවස්ථානය නැවත ඉදි කිරීමෙන් අනතුරුව, දාවිත් ගෙන් පැවත එන රජවරුන් විසින් පාලනය කරනු ලැබීය.

ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේදී, ජුදා දේශය ජුදයාව ලෙසින් හැඳින් වූ අතර, පැවතියේ රෝමානු නීතිය යටතේය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන් වහන්සේගේ ගෝලයින් ජුදයාව තුළ ශුභාරංචිය දේශනය කළේ, ඊශ්‍රායල් නිවසේ නැති වූ බැටළුවන් සොයමින් යන අතරය. මෙහි වසර තුනහමාරක කාලසීමාවකට පසුව, ඔවුන්ගේ ගැලවුම්කරුවා ලෙස යුදෙව්වන්, යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කර, රෝමානු ආණ්ඩුකාරවරයාට ඔහුව කුරුසියේ ඇණ ගසන ලෙසට ඒත්තු ගැන්වූහ. දින තුනකට පසු ඔහු මළවුන්ගෙන් නැගිට, ස්වර්ගයේ දේවියන් වහන්සේගේ දකුණතට නැගීමට පෙර, ඔහුගේ ගෝලයින්ට පෙන්වා සිටියේ ඔහු ජීවත් ව සිටින බවයි.

යේසුස් ව කුරුසියට ඇණ ගැසීමට කෙටි කාලයකට පෙර, ඔහු අනාවැකි පල කරමින් කියා සිටියේ, ඔහුව ප්‍රතික්ෂේප කිරීමට දඬුවමක් වශයෙන් ජෙරුසලම ගිනිබත් වී දේවස්ථානය විනාශ වන බවත්, යුදෙව්වරුන් අල්ලා ගෙන වෙනත් රට වලට සිරකරුවන් ලෙස රැගෙන යන බවත්ය. එම අනාවැකිය ක්‍රිස්තු වර්ෂ 70 දී ඉටු වූයේ, අනාගත රෝමානු අධිරාජ්‍ය ටයිටස් විසින් ජෙරුසලම යටත් කර ගත් අවස්ථාවේදීය. වසර 1800කට වැඩි කාලයක්, යුදෙව්වරුන්, විවිධ රටවල් පුරා පැතිර ජීවත් වූහ.

ඉන්පසු, 1948 දී සිදු නොවිය හැකි දේ සිදු විය. ඊශ්‍රායල රාජධානිය ස්ථාපිත කරන ලද අතර, යුදෙව්වන් නැවත වරක් පොරොන්දු දේශය අයත් කරගත්හ. බොහෝ ක්‍රිස්තියානුවන් මෙය ප්‍රාතිහාර්යයක් සහ දෙවියන්ගේ ආශිර්වාදයක් බව ප්‍රකාශ කළ ද, මෙය ඇත්ත වශයෙන්ම සමිඳුන්ගේ ආශීර්වාදයක් වූයේ ද නැතිනම්, වෙනත් දුෂ්ට බලයන් ගේ ක්‍රියාවක් ද? මෙම චිත්‍රපටිය තුළ මීට පිළිතුර රැඳී තිබේ.

 

 

 

mouseover